catergory

Thursday, 1 October 2020


 ඇල්ෆ්‍රඞ් හිච්කොක්ගේ  “The Birds” සිනමා කෘතියේ සංස්කරණ පැතිකඩ 

 

                             සිනමාව සහ රූපවාහිනිය වූ කලී එක ම රූප භාෂාවේ එකිනෙකට වෙනස් ගුරුකුලයකට අයත් විෂයන් දෙකකි. එහි සමානකම් මෙන් ම වෙනස්කම් ද බොහෝ ය. සිනමා හෝ රූපවාහිනී කෘතියට ජීවය ලබා දෙනුයේ රූප රචනයයි. එහි දී සංස්කරණය කී සැණින් සැමගේ මතකයට එනුයේ කපා කොටා අනව්‍ය කොටස් ඉවත් කිරීමක් ලෙසය. එලෙස කරනු ලබන සංස්කරණයේ දී සංස්කරණ ශිල්පියා ලේඛකයෙකු බවට පත්වේ. 

                          එය ග්‍රන්ථකරණයේ දී යම් අර්ථයක් ගෙන ආව ද, රූප භාෂාවේ දී සංස්කරණය ඊට වඩා වෙනස් ස්වරූපයක් ගනී. සංස්කරණය අධ්‍යක්ෂවරයාගේ රූප භාෂාවේ රචනය ගොඩනැගීමක් ලෙස නම් කළ හැකි වේ. රචනයක් යනු ඔීනෑම භාෂාවක යම් නිශ්චිත අදහසක් අරභයා අනෙක් මානවයින් එතුළට පෙළගැස්විය හැකි ලේඛනයකි. 

                        

මානව භාෂාවෙන් ලිඛිත අදහස් ප්‍රකාශ කිරීමේ දී භාවිත කළ හැකි කුඩා ම ඒකකය අක්ෂරය වේ. නමුත් අක්ෂරයකින් යම් නිශ්චිත අදහසක් අප තුළ ඇති කරලීම අපහසුය. ‘අ’ හෝි්’ A අක්ෂරය කියූ සැණින් අප තුළ නිශ්චිත අදහසක් ඉපදෙන්නේ නැති තරම් ය. මේ නිසා යම් අදහසක් ප්‍රාථමික ලෙස හෝ ඉදිරිපත් කළ හැකි කුඩාම ඒකකය වචනය වේ. නමුත්, එම වචනය ද අදහස පිළිබඳ නිශ්චිත හැගීමක් ජනිත කර වීම කෙරෙහි ප්‍රමාණවත් නොවේ. නිදසුනක් ලෙස අම්මා කියූ සැනින් වචනය හරහා යම් සංකේතයක් අප හද තුළ ජනිත වේ. නමුත්, එය පරිපූර්ණ හැගීමක් ජනිත කිරීමෙහි ලා සාර්ථකත්වයට පත් වන බවක් නොපෙනේ.

                         රූප භාෂාවේ දී වචනයට හිමි ස්ථානය ලබා ගනුයේ රූපය (Shot) වේ. මෙහි දී රූපය තුළ ශ්‍රව්‍ය සහ දෘශ්‍ය යන පාර්ශව දෙක ම එක ලෙස නියෝජනය කිරීමක් සිදු වේ. රූපය දීර්ඝ රූපයක් (Long take) ලෙස නොගෙනෙන සෑම අවස්ථාවක දී ම පූර්ණ අර්ථයක් රූපයෙන් ජනිත කළ හැකි නොවේ. 

                      වචන පෙළක් ලියූ පමණින් ද නිශ්චිත අදහසක් නිර්මාණය නොවේ. එය යම් රටාවකට, නීතියකට සහ කාලවලට අනුව වාක්‍යයක් ලියූ කල නිශ්චිත අදහසක් ලබා ගත හැකිවේ. එමෙන් ම රූප ද එකිනෙකට ඇමුණූ පමණින් අර්ථය නිෂ්පන්න නොවේ. ඒ සඳහා අර්ථය, රිද්මය, සංකල්ප සහ තාක්ෂණ ක්‍රමවේද එකිනෙකට ගැළපිය යුතුවේ. එසේ ගළපා ගත් රූප පෙළක් දර්ශනයක් (Scene) ලෙස අර්ථකථනය වේ. වාක්‍ය කිහිපයක් යම් අරමුණක් වෙනුවෙන් එක ම අදහස් ගොඩනැගීම වෙනුවෙන් පෙළගැස් වූ විට පරිච්ඡේදයක් නිර්මාණය වේ. එසේ සිදුවීම රූප භාෂාවේ දී නම් දර්ශන කිහිපයක් එකතු වී සිනමාව තුළ එක් කාණ්ඩයක් (Sector) ඇති කරන අතර, රූපවාහිනියේ දී ඒකාංගික කොටසක් වශයෙන් නිර්මාණය වේ. පරිච්ඡේද සමූහයක එකතුව පූර්ණ රචනයක් වන්නේ යම් සේ ද ඒකාංගික හෝ කාණ්ඩවල එකතුව ප්‍රාසාංගික ටෙලිනාට්‍යයක් හෝ සිනමා සිත්තමක් හෝ නිර්මාණය කරයි.

                         රූප රචනය සඳහා භාවිත කරන මෙවලම නම් සංස්කරණයයි. සංස්කරණය නිර්මාණයට ජීවය ලබා දෙනවා පමණක් නොව, ප්‍රේක්ෂකයා තුළ කතාව ගොඩනැගීම ද සිදු කරයි. රචනයේ දී තම අදහසට නිශ්චිත අරුතක් ගෙන දීම සඳහා ගැලපෙනම සහ සුදුසුම වචනය තෝරා ගැනීම කොතරම් වැදගත්වේ ද, එලෙස ම රූප භාෂාවේ දී නිශ්චිත අරුත් එක් කිරීමේ ලා ගැළපෙන ම සහ සුදුසුම රූපය තෝරා ගැනීමත් එතරම්ම වැදගත් වේ. එම රූප පෙළගැස්වීමේ දී ඉහත සඳහන් කරුණුවලට අමතරව රූපයේ ක්‍රියාකාරීකමට අනුව ආරම්භ වන අවසන් විය යුතු ස්ථාන නිවැරදිව හඳුනා ගැනීමත්, කාලය සහ අවකාශය රඳවා ගැනීමත්  සංස්කරණයේ දී ඉතාමත් වැදගත් වේ. මෙහි දී සංස්කරණ ශිල්පියාට අයත් කාර්යභාරය වනුයේ අධ්‍යක්ෂවරයා තමන්ගේ නිර්මාණය වෙනුවෙන් විවිධ දිශා සහ කෝණ වලින් රූගත කර තිබෙන රූපවලින් එම අවස්ථාවට සුදුසුම රූප පිටපත සහ අධ්‍යක්ෂවරයාගේ නිර්මාණයට සාධාරණය ඉටුවන ආකාරයට තෝරාගෙන චලන රූපයට නියම අර්ථකථනයක් ලබා දීමයි. 

                           නවකතා, කෙටිකතා රචනයේ දී කර්තෘ තමනට දැනෙන හැගෙන දේ තම අත්දැකීම් සහ පරිකල්පනය සමඟ මුසුකොට පාඨකයා වෙත ගෙන එයි. මෙහි දී එය පාඨකයා වෙත රැගෙන යන වාහකයා වනුයේ එකී නිර්මාණය වන චරිතයි. කර්තෘ විසින් නිර්මාණය කරන ලද චරිත සහ සිද්ධි නැතහොත් ඔහු පසුබිම විසින් නිෂ්පාදිත අර්ථය ගැන සාධ්‍යතා විචාරය පාඨකයා විසින් තමන්ගේ සමාජ, ආර්ථික, ආගමික සහ දැන උගත්කමේ ප්‍රමාණය ඇසුරෙන් නිර්මාණය කර ගනු ලබයි. මේ නිසා පාඨකයා විසින් කියවනු ලබන්නේ කර්තෘ විසින් නිර්මාණය කරන ලද සිද්ධි හෝ චරිත ද යන්න ඉදුරා ම කිව හැකි නොවේ. විචාරකයින් මීට වඩා වෙනස් ම ආකාරයට එම කෘතීන් කියවනවා විය හැකිය. එහෙත් මෙම කියවීම්වලට වඩා වෙනස් ආකාරයක අර්ථයක් මතුවන අයුරු මෙම වියමන (Text) තුළ සිද්ධි සහ චරිත ගොඩනැගී තිබිය හැකිය. මේ නිසා පශ්චාත් නූතනවාදීන් විසින් මෙය Readerly Text සහ Writerly Text වශයෙන් විග්‍රහ කොට ඇත. මෙහි දී කෘතියේ වියමන පිළිබඳව අයිතිය (Authorship) විග්‍රහ කිරීමට අපහසු වෙත් ම එය එතරම් වැදගත් දෙයක් ලෙසත් සැලකීම ද අපහසු දෙයක් බව පෙනී යයි. මේ නිසා කර්තෘ විසින් වියන ලද පඨනය ග්‍රාහකයාට ප්‍රක්ෂේපණය කරනවාට වඩා සංඥා ජනනය කිරීමක් ලෙස අර්ථ දැක්විය හැකිය.

                 සිනමාවේ දී රූප රචනය මෙම සංඥාර්ථවේදයට අනුව සිදුවන බව පෙනේ. මෙහි දී එක් එක් රූපය තනිව ගත් විට ඒවායින් පූර්ණ අර්ථයක් සම්පාදනය කිරීම අපහසු වේ. එක් රූපයක් තවත් රූපයක් සමඟ රූප රචනය කිරීමෙන් අවශ්‍ය ආකාරයට පූර්ණ අර්ථයක් සම්පාදනය කර ගත හැකිවේ.

                 සිනමාව ආරම්භ වූ මුල් අවධියේ පටිගත කළ සියලු දෑ ජනතාවට පෙන්වනු ලැබීය. එහෙත් ටික කලකින් ම අවශ්‍ය අනවශ්‍ය සියලු දෑ පෙළගැස්මකින් තොරව නරඹන්නට ප්‍රේක්ෂකයාට සිදුවිය. එය වදයක් විය. අනවශ්‍ය දෑ ඉවත් කිරීමට අවශ්‍ය විය. පටිගත වූ සේයාපටවල රූප තියුණු තලයකින් කපා එකිනෙක පුරුද්දමින් අනවශ්‍ය දෑ ඉවත් කිරීම සිනමාවේ දී ආරම්භ කරන ලදී. මෙය භෞතික ක්‍රියාවලියකි. ලෝකයේ සංස්කරණය ලෙස මුලින් ම සිදු කළේ මේ පිරිමැද්දුමයි. එය Physical Editing  වේ. අදත් චිත්‍රපට සංස්කරණය සඳහා මේ ක්‍රමය භාවිත කෙරේ. මීට අමතරව වර්තමානයේ භෞතික නොවන සංස්කරණ ක්‍රමද චිත්‍රපටවල දී භාවිතා කිරීම ආරම්භ කර ඇත. මේ කුමනාකාර සංස්කරණ ක්‍රමයක දී වුවත් කැරොල් ලිට්ල්ටන් පවසන පරිදි , චිත්‍රපට සංස්කරණ ශිල්පියා රූප සමඟ ලේඛනයක් සිදු කරනා ලේඛකයෙකු බවට පත්වනු ඇත. 

           රූපගත කිරීමේ දී කැමරාකරුවෙක් රූපය දෙස බලන ආකාරයට වඩා වෙනත් දෘෂ්ටිකෝණයකින් සංස්කාරකවරයා එම රූපය දෙස බලයි. කැමරාකරණයේ දී තාක්ෂණ පිටපත අනුව අධ්‍යක්ෂවරයා තෘප්තිමත් වන අකාරයට රූපය කොහොම ගත යුතු ද යන්න තීරණය වේ. නමුත් කොතරම් කොහොම මහන්සි වී රූපය ගත්තේ ද යන්න සංස්කරණයේ දි වැදගත් සාධකයක් නොවේ. එහි දි රූප සම්බන්ධයෙන් ඇති වන ප්‍රශ්නය වූ කලී ඇයි යන්නයි.  බොහෝ විට නියම ආකාරයට රූගත කරන සිනමා කෘතියක එක් අවස්ථාවක් එකිනෙකට වෙනස් කෝණ සහ දිශාවලින් කිහිපවතාවක් රූගත කිරීම සිදුවේ. එසේ ලබාගත් රූපවලින් කුමන රූපය කුමන අවස්ථාවට කොපමණ කාලයක් තුළ යොදා ගන්නේ ද යන්න මත සංස්කරණ ශිල්පියාගේ නිර්ාණශීලීත්වය පෙන්නුම් කරන අතර, එය කතාව මනාව ගොඩනැගීමටත් ඉවහල් වේ. මෙම අවස්ථාවේ දී එක් රූපයක් තම අභිමතය පරිදි තෝරාගත් සැණින් එම අවස්ථාවට සම්බන්ධ රූප බොහොමයක් ඉවත දැමීමට සිදු වේ. රූපයක් තෝරා ගැනීමට මෙන් ම ඉවත දැමීමේ දී ද එම රූපවලට සාධාරණය ඉටු කළ යුතු වේ. ඒ ලේඛකයෙකු බවට පත්වන සංස්කරණ ශිල්පියා රූප සමඟ ලිවීමක් සිදු කරනා නිසා වෙනි.

            මතු සඳහන් කියමන සනාථ කර දැක්වීම සඳහා ගත හැකි කදිම නිදසුනක් ලෙස The Birds චිත්‍රපටය දැක්විය හැක. The Birds යනු ඇල්ෆ්‍රඞ් හිච්කොක් විසින් 1963 වසරේ දී අධ්‍යක්ෂණය කරන ලද ඇමරිකානු ත්‍රාසයජනය චිත්‍රපටයකි. කැලිෆෝනියාවේ බොඩෙගා බොක්කෙහි ජීවත් වන ජනතාව වෙත දින කිහිපයක් පුරා මුහුණ පෑමට සිදු වූ ප්‍රචණ්ඩ පක්ෂි ප්‍රහාර මාලාවක් තේමා කර ගනිමින් හිච්කොක් මෙම චිත්‍රපටය ගොඩ නගා තිබේ. 

                 මිච් බ්රෙනර් සහ මෙලනි ඩැනියල්ස් යන යුවලගේ ප්‍රේම කතාවක් ද චිත්‍රපටය ඔස්සේ දිග හැරේ. චිත්‍රපටය ආරම්භ වන්නේ සුදු පැහැති පසුබිමකිනි. එහි තද කලු පැහැති කුරුල්ලන් විශේෂයක් හඬ නගමින් ඒ මේ අත පියාසර කරයි. ඒ ඔස්සේ චිත්‍රපටය ආරම්භ වේ. සිකුරාදා දිනයක සිට අඟහරුවාදා උදෑසන දක්වා දක්වා දින පහක කාලයක් චිත්‍රපටයේ කතන්දරය පුරා දිග හැරේ. 

         මෙහි ප්‍රධාන චරිත යුගලය වන මෙලනි සහ මිච් හමුවන්නේ සැන්ෆ්‍රැන්සිස්කෝ හී පිහිටි සුරතල් සතුන් විකිනීමට ඇති කඩයක් තුළ දී ය. තම එකොළොස් හැවැරදි නැගනියගේ උපන්දිනයට තෑග්ගක් වශයෙන් කුරුලු ජෝඩුවක් දීමට මිච් විසින් මෙම කඩයට පැමිණ තිබේ. එහි දී ඔවුන් දෙපල එකිනෙකා හදුනාගන්නා අතර ඇය සමඟ ඇති වූ යම් ගැටලුවක් නිසා ඔහු කුරුල්ලන් මිල දී නොගෙන ම කඩයෙන් පිටත් වේ.

              නමුදු පසු දින කුරුලු ජෝඩුවක් රැගෙන මිච්ගේ නිවස වෙත යන මෙලනි ඔහු එහි නොමැති බවත් සති අන්ත නිවාඩුවට කැලිෆෝනියාවේ බොඩෙගා බොක්කෙහි ඇති සිය මව හා නැගෙණිය ජීවත්වන නිවසට ගොස් ඇති බවත් දැන ගන්නා ලදී. පසුව මෙලනි විසින් එම නිවස සොයා යන අතර එහි දී ඇයට සහ බොඩෙගා බොක්කෙහි ජීවත් වන ජනතාව වෙත මෙම හදිසි, ප්‍රචණ්ඩ පක්ෂි ප්‍රහාරයට මුහුණපෑමට සිදුවිය. චිත්‍රපටය අවසාන දර්ශන කිහිපයේ දී මෙලනි ද මෙම පක්ෂීන්ගේ ප්‍රහාරවලට තදබල ලෙස ලක්වන අතර පසුව මිච් විසින් ඇය සහ සිය මව ද නැගණිය ද කැටුව බොඩෙගාව අතහැර සැන්ෆ්‍රැන්සිස්කෝ වෙත නැවත පැමිණේ. 

                  මේ ආකාර කතා පුවතක් දිග හැරෙන The Birds සිනමාකෘතියෙහි දී ලේඛකයෙකු බවට පත් වූ සංස්කරණ ශිල්පියා රූප සමඟ ලීයමනක් ගොඩනගා ඇති ආකාරය පිළිබඳව මෙහි ලා සාකච්ඡාවට බදුන් කෙරේ.

                    සංස්කරණයේ දී සැබෑවට ම සිදුවිය යුත්තේ රූපවලට රිද්මයකට අනුව ගලායාමට සැලැස්වීමයි. රූපයෙන් රූපයට රිද්මයානුකූල සම්බන්ධතා ගොඩනගන ශිල්පීය ක්‍රම තුනක් භාවිතයේ පවතී. හිච්කොක් ද මෙම ශිල්පීය ක්‍රමයන් අපූර්ව ලෙස මෙම සිනමා කෘතිය සඳහා යොදාගෙන තිබේ. 

           ඉන් පළමුවැන්න වන්නේ ඡේදනය හෙවත් ඍජු ඡේදනයයි (cut). මෙහි දී සිදු වනුයේ රූපයක් සහ ශබ්දයක් තවත් රූපයක් සහ ශබ්දයක් සමඟ ඍජුවම සම්බන්ධවීමයි. මෙහි දී සිදුවනුයේ පටිගත කර ඇති දර්ශනය play කිරීම හා අලුතින් පටිගත කරන දර්ශනයන් සමඟ ඍජුවම පටිගත වීමයි. රූපයක් සහ ශබ්දයක් තවත් රූපයක් සහ ශබ්දයක් සමඟ ඍජුවම ඇමිණීමේ දී එය ඉතා සුමට ලෙස සිදු කළ යුතුය. රූපයක් තවත් රූපයක් සමඟ සැසදීමේ දී එම රූපයේ ප්‍රමාණය හා පසුබිම එම ප්‍රමාණයෙන් ම ඇමුණුම් කළ හොත් ඇසට එය බාධාවකි. එනම් එහි දී jump cut එකක් ඇතිවේ. එය වැලැක්වීම පිණිස එම රූපරාමු දෙක අතරට ඊට ගැලපෙන සේ වෙනත් රූපරාමුවක් යොදා එම jump cut වීම වලක්වා ගත හැකිය. මැදට යොදන එම රූපය cutter ලෙස හැදින්වේ. නැතහොත් මෙහි දී එම රූපයේ ම දුර රූපයක් රූපරාමු දෙක අතරට යෙදිය හැකිය. සමහර අවස්ථාවල දී අධ්‍යක්ෂවරයා සිනමාත්මක jump cut ඇති වීමට ඉඩ දේ. නිදසුනක් ලෙස මෙලනි විසින් බොඩෙගා බොක්කෙහි පිහිටි මිච්ගේ නිවස සොයා යන ගමනේ දී ඇනී නැමැති පාසල් ගුරුවරියගේ නිවස වෙත පැමිණේ. එහි දී එක් අවස්ථාවක මෙලනිගේ සමීප රූපයකුත්, මෙලනි සහ ඇනී සිටිනා සමීප රූපරාමුවකුත් අතරට “කුරුලු ජෝඩුව” සිටිනා රූපරාමුවක් යොදා එහි ඇතිවන jump cut එක වලක්වා තිබේ. එමෙන් ම මෙලනි මෝටර් රථයෙහි ගමන් ගනිද්දී ඇගේ සමීප රූපයක් පෙන්වා , පසුව ඇය ගමන් ගන්නා මාර්ගයෙහි දුර රූපයක් පෙන්වා නැවතත් ඇයගේ සමීප රූපයක් පෙන්වනු ලබයි. ඒ ඔස්සේ ඍජු ඡේදනය නැමැති සංස්කරණ ක්‍රමය මෙහි දී හිච්කොක් මනා ලෙස යොදා තිබේ. එතුළින් ඔහු පෙළඹවීම, තොරතුරු ඉදිරිපත් කිරීම, කැමරා කෝණය හා දිශාව, රූප අතර පවතින අඛණ්ඩතාව ආදිය නිරූපණය කිරීමට එම ඍජු ඡේදනය යොදා ගත් බව පැහැදිලිය.

                මීට අමතරව මුසුකිරීම හෙවත් Mixing ද The Birds හී සංස්කරණය සඳහා යොදාගෙන තිබේ. මෙහි දී රූපරාමු දෙකක් එකිනෙක මිශ්‍ර වීමක් සිදුවේ. එහි දී පටිගත වනුයේ මිශ්‍ර වූ රූපයකි. මුල් රූපයේ සිට ක්‍රමයෙන් එම පළමු රූප රාමුව මැකි ගියත් දෙවන රූපරාමුව ක්‍රමයෙන් මතුවෙමින් අදාල මතුවීම සම්පූර්ණ කරයි. Mixingහී දී එක් රූපයක සිට අනෙක් රූපයට මිශ්‍රවීම, මුසුවීම මිස ඡේදනය නොවේ. (Not cut only mixing) මෙහි Effect ප්යෝග ද තේරුම් ගත යුතුය. මෙහි දී පළමු රූපය ක්‍රමයෙන් මකා දමමින් දෙවැනි රූපයට මතුවීම Wipe වේ. මෙහි දී පළමු රූපයෙන් දෙවැනි රූපයට යාමේ දී පිසදමන විවිධ හැඩ දක්නට ඇත. එම හැඩ Wipe patten ලෙස හැදින්වේ. 

                තව ද වියකුම හෙවත් Fade ද මෙහි දී රූප සංස්කරණය සඳහා යොදාගෙන තිබුණි. එහි දී අඳුරේ සිට රූපය ක්‍රම ක්‍රමයෙන් මතු වීම Fade in ලෙස හැදින්වේ. සමාන්‍යයෙන් දර්ශනයක් ආරම්භයේ දී අඳුරේ සිට රූපයට Fade in කරනු ලැබේ. එමෙන් ම එක් දර්ශනයක් අවසන් කොට තවත් දර්ශනයකට යන අවස්ථාවක දී, කාලය ගෙවුණු බව හැඟවීමේ දී, ස්ථානය හෝ පරිසරය වෙනස් කිරීම සඳහා, එකිනෙකට වෙනස් අදහස් හා රූප සම්බන්ධ කිරීම වැනි කාර්යයන් සඳහා ද Fade in භාවිතා කරනු ලැබේ. නිදසුනක් ලෙස ගත් කල කුරුලු ජෝඩුව රැගෙන මෙලනි සැන්ෆ්‍රැන්සිස්කෝවේ තිබෙන මිච්ගේ නිවසට යාම ගත හැකිය. සුරතල් සතුන් සිටින කඩයේ දර්ශනයේ සිට මිච්ගේ නිවස තිබෙන දර්ශනය දක්වාFade in වීමක් සිදුවේ. එහි දී එක් දර්ශනයක් අවසන් කොට තවත් දර්ශනයකට යාම සඳහා එමFade in වීම යොදා ගෙන තිබේ.            

       එසේ ම රූපයක සිට ක්‍රම ක්‍රමයෙන් අඳුරට වියැකුම හෙවත් අඳුර මතුවන්නට ඉඩ හැරීම Fade out  වේ. මෙය සාමාන්‍යයෙන් වැඩසටහනක් අවසන් කරන අවස්ථාව, දර්ශනය අවසන් වූ විට, කාලය ගෙවී යාම හැඟවීමට, ස්ථාන වෙනස් වීම හැඟවීම ආදිය සඳහා යොදා ගනු ලබයි. චිත්‍රපටයේ දුටු නිදසුනක් ලෙස මිච්ගේ නිවසේ රාත්‍රී ආහාරය ගැනීමෙන් අනතුරුව මෙලනි නැවතත් මෝටර් රථයෙන් ගමන් ගන්නා අවස්ථාවේ දී එම අවස්ථාවේ අවසානය සනිටුහන් කරමින් එහි සිට ඇනීගේ නිවස වෙත  fade out  එකක් සිදු වේ. 

          චිත්‍රපටය පුරාවට මේ ආකාර fade in සහ fade outදොළහක් පමණ දැක ගත හැකි විය.  

                   වරක් ක්‍රිස්ටියන් මෙට්ස් පවසා ඇති පරිදි කිසිම රූප කණ්ඩයක් තවත් එකකට සමානත්වයක් නොදක්වන බව සනාථ විය. එසේ නමුත් බොහෝ වෘතාන්ත චිත්‍රපට ව්‍යූහය (Film structure) අතින් සමානත්වයක් දක්වන බව සඳහන් කරයි. මෙම න්‍යාය කඩා වැටෙන අවස්ථාවක් The Birds චිත්‍රපටයෙහි සංස්කරණය තුළ අන්තර් ගත වේ. මෙලනි පාසල් භූමියෙහි දුම් පානය කරමින් හිඳගෙන සිටින දර්ශනය සමඟ කුරුල්ලන් රැස්වෙමින් සිටින දර්ශන සංස්කරණය වේ. අවසානයේ ඇය හාත්පස හැරී බලන විට ඇගේ පිටුපස කුරුල්ලන්ගෙන් පිරි තිබේ. මෙම රූප ඛණ්ඩපෙළෙහි සංස්කරණය නැරඹූ විට පෙනී යන්නේ චරිතය රූප රාමුවෙන් ඉවත බැලූ විට ඊළඟ රූප ඛණ්ඩය චරිතය විසින් බැලූ දර්ශනය වුවත් එම න්‍යාය කඩකර ඇති බවයි. 

        එනම් හිච්කොක්ගේ චිත්‍රපටවල තනි කොටසකින් අරුතක් නොදක්වන බවය. චිත්‍රපටය ඉතා සැලසුම් සහගතව, මනා ලෙස නිර්මාණය කර තිබුණ ද චිත්‍රපටයේ මැදින් කිසියම් කොටසක් ඉවත් කොට නැරඹ්මේ හැකියාවක් නැත. එහි දී මොන්ටාජ් සංස්කරණය සහ මන්දගාමී වේගය ඇතැම් දර්ශනයන් හී ගුප්ත බවක් එක් කිරීමට යොදා ගෙන තිබේ. ඔහුගේ සංස්කරණ ක්‍රමවේදයේ ඇති විශේෂත්වය එයයි. 

                    තව ද චිත්‍රපටය තුළ POV (point of view )දර්ශන මගින් විශේෂිත චරිත හා ඔවුන්ගේ ආත්මීය අත්දැකීම් සමඟ ප්‍රේක්ෂක ආකර්ශනය කෙරෙහි යොදා ගැනීමට ද අධ්‍යක්ෂවරයා කටයුතු කර ඇති බවක් පෙනේ. නිදසුනක් ලෙස මෙලනි බොඩෙගා බොක්ක තරණය කරමින් මිච්ගේ නිවසට බෝට්ටුවෙන් ගිය අවස්ථාවේ දී කැමරාව ඇගේ මුහුණ දෙස සමීපව හා මිච්ගේ නිවස ඇගේ දෘෂ්ටිකෝණයෙන් දකිනා දර්ශනයක් අතර සංස්කරණයක් සිදුවනු ඇත.

        සමස්තයක් ලෙස ගත් කළ චිත්‍රපටයේ අනෙකුත් අංගයන්ට වඩා සංස්කරණයට මූලික තැනක් දී තිබීම හිච්කොක් සිය කෘතිය පුරාම බොහෝ දුරට භාවිත කරනු ලැබූ සිනමා අංගයක් බව මෙම කරුණු ඔස්සේ අනාවරණය කර ගත හැක. 

                         



 
 THERE IS NO END

Black&White